| 
			 
			 
			කොතැනින් ඇරැඹුවත් නිවනට ගෙන යන ආර්ය ප‍්‍රතිපදාව
			
			නාරාවිල පැට්රික් 
			 
			සිල්වත් යන්න අර්ථකථනය කළහොත්, ශීලයෙන් යුක්ත වූ, ශීලවන්ත, යහපත්, 
			යහපත් ගුණ දරන ආදී තේරුම් දිය හැකි ය. ඒ අනුව සිල්වත්කම යනු ශීලවන්ත 
			භාවය යනුවෙන් සලකන්නට පුළුවන. ඒ කවර හැටියෙන් ගත්තත් ශීල හෝ සීල යන්නට 
			ගැමි වහරේ අපූර්ව, සරල යෙදුමක් ඇත. එනම්, හීලෑ යනුයි. ඒ අනුව සිතතොත්, 
			සිල්වත්කම යනු හීලෑකම හෙවත් හීලෑ බව යැයි කියන්නට අවසර ඇත. 
			හීලෑකම යන්න මෙසේ අර්ථ ගන්වා ඇත. එනම් කීකරු බව, අවනත බව, හික්මුණු බව, 
			රළු නොවන බව, වනචර ගති අත් හළ බව ආදී හැටියෙනි. 
			ප බෙහෙවින් කතා කරන්නේ අපේ හීලෑකමට වඩා සතුන්ගේ හීලෑකම හෝ හීලෑ සතුන් 
			ගැන ය. අනාදිමත් කාලයක සිට සතුන් හීලෑ කර ගැනීමේ මනා පළපුරුද්දක් 
			මිනිසාට ඇත. එසේ හීලෑ කර ගැනීමෙන් අප නොයෙක් සතුන්ගෙන් වැඩ ගන්නා ආකාරය 
			ගැන පැහැදිලි කරන්නට අමුතු විවරණ හෝ අටුවා වුවමනා නොවෙතියි සිතේ.එහෙත් 
			මේ ටිකත් මතක් කර ගතහොත් මැනවි.අපි කොතරම් දරුණු සිංහ, කොටි, 
			ව්‍යාඝ‍්‍ර වැනි සතුන් හීලෑ කර ගනිමු ද? නයි, පොළොං, පිඹුරු වැනි 
			විසකුරු සතුන් හීලෑ කර ගනිමුද? සර්කස්කාරයෝ කොතරම් නම් සතුන් හීලෑ කර 
			ගෙන විස්කම් පාත් ද? එහෙත් ඔවුහු තමන් විසින් තමන් හීලෑ කර ගෙන අප 
			මවිතයට පත් කරත් ද? 
			කිසියම් හේතුවක් නිසා කුලප්පු වන, කිපෙන, දරුණු වන ඇතා දළදා කරඬුව තමා 
			මත තබා වැඩමවා ගෙන යන්නේ කොතරම්, කායික, වාචසික හා මානසික හීලෑ කමකින් 
			ද? ඔහු එසේ හීලෑ කර ගෙන ඇත්තේ මොන තරම් අපූරුවට ද? මේ සතා පාලනය වී ඇති 
			ආකාරය මවිතය දනවන සුළු නොවේද? ඌ කොතරම් අගේට සිල්වත් වී සිටී දැයි 
			එයින් පැහැදිලි නොවන්නේ ද? 
			මෙතෙක් හැකිතාක් සරල බසින් සැකෙවින් කියන ලද්ද තරමක් බර කොට කියතොත් 
			සිල්වත්කම යනු ශීල ශික්ෂාවෙන් ලබා ගන්නා ලද ශික්ෂණයයි. ශීල ශික්ෂා යනු 
			ශීල, සමාධි, ප‍්‍රඥා නම් වූ ශික්ෂා මාර්ගයේ පළමු වැන්නයි. තවත් ටිකක් 
			බර කොට කියතොත්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවේ හෙවත් ආර්ය අෂ්ටාංගික 
			මාර්ගයේ මුල් පියවර යි. හීලෑකම ප‍්‍රගුණ කළ කෙනෙකුට සමාධි ශික්ෂා, 
			ප‍්‍රඥා ශික්‍ෂා, වර්ධනය කිරීමෙන් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා පූර්ණයෙන් 
			නිර්වාණ ප‍්‍රාප්තිය සාක්ෂාත් කරන්නට බැරිකමක් නැත. මේ කි‍්‍රයා මාර්ගය 
			බුද්ධ දේශනාවේ නොයෙක් තැන පුළුල් විවරණ සහිතව විග‍්‍රහ කර ඇත. 
			විශේෂයෙන් සිය ශ‍්‍රාවකයන් තුළ මේ හීලෑකම ප‍්‍රගුණ කරන්නට බුදුන් 
			වහන්සේ කවර ක‍්‍රම වේදයක් යොදා ගත් සේක් ද යන්න ෂනය පිටකය පිරික්ෂා 
			බැලුවහොත් පෙනී යනු නියතය. එහිදී දැඩි ලෙස විනය නීති පනවමින් භික්‍ෂූන් 
			හික්මවන්නට කටයුතු කළ බව පෙනේ. එසේ කරන ලද්දේ සිය ශ‍්‍රාවකයන් ගිහි 
			ගෙන් නික්ම හුදෙක් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව විෂයයෙහි ම ඇපකැප වන්නට 
			සිය රිසින් ගිවිස ගත් පිරිසක් නිසා ය. 
			කෙසේ වෙතත් සියුම් විමසීමක යෙදුණොත් ගිහියන් සඳහා දක්වා වදාළ පන්සිල් 
			පිළිවෙත ඔස්සේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවට ප‍්‍රවේශයක් ලබා ගත හැකි බව 
			පෙනේ. 
			ඉතා පැහැදිලි, සරල බසින් පන්සිල් මඟින් බුදුන් වහන්සේ දක්වා ඇත්තේ 
			නිර්වාණගාමී ප‍්‍රතිපදාවට ප‍්‍රවේශයක් බව කිව හැකි ය. කයින් කැරෙන 
			අකුසල් වන්නේ පණ නැසීම, අන්සතු දේ ගැනීම හා කාමයෙහි වරදවා හැසිරීමයි. 
			පන්සිල්හි මුසාවාදය යන්න දස අකුසල්හි බොරු කීම, කේළාම් කීම, පරුෂ බිණීම 
			හා හිස් බස් දෙඩීම වශයෙන් හතරක් ලෙස දක්වා තිබේ. ඉතින් පාණාතිපාතය ආදී 
			ඉහත සඳහන් අකුසල් හත නොකිරීමට නම් කවර තරම් හීලෑකමක්, හික්මීමක්, 
			විනයක්, ශික්ෂණයක් තිබිය යුතු දැයි අපට සිතන්නට හැකි විය යුතු ය. 
			එහෙත් පන්සිල්හි, දස අකුසල්හි මෙන මනසින් කැරෙන අකුසලයක් ගැන සඳහන් 
			නැත. දස අකුසල්හි මනසින් කැරෙන අකුසල් ලෙස දැක්වෙන්නේ අභිජ්ඣා, 
			ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි හෙවත් ලෝභ, දෝස, මෝහ යන ඒවායි. දැන් සිහි 
			නුවණින් සලකා බලතොත් පන්සිල්හි, දැක්වෙන රහරමෙර පානය හෙවත් සුරාපනය දස 
			අකුසල්හි දැක්වෙන අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි යන තුන් අකුසලයට ම 
			දොරටු අරින්නක් බව කිව යුතු ද? සුරාවෙන් මත්වීම ඒ තරමට ම බියකරු ය. 
			මෙසේ ගත් කල්හි ශීල ශික්‍ෂණය හෙවත් සිල්වත්කම හෙවත් හීලෑකම, සමාධි 
			ශික්‍ෂා හා ප‍්‍රඥා ශික්‍ෂා යන දෙකට ද පාදක වන බව පෙනේ. 
			ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් නිර්වාණගාමී පටිපදාව ශීල, සමාධි, ප‍්‍රඥා 
			යටතේ වර්ග කර ඇති හැටි බලමු. 
			 ශීල ශික්‍ෂා, - සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. 
			සමාධි ශික්‍ෂා - සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි 
			ප‍්‍රඥා ශික්‍ෂා - සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මෙසේ දැක්වෙන ති‍්‍ර ශි‍්‍රක්ෂා පදනමේ පිහිටා මෙවන් විවරණයක් ඉදිරිපත් 
			කළ හැකි ය. දස අකුසල් හි දැක්වෙන බොරු, කේළාම්, පරුෂ, හිස් බස් ආදිය දෙඩීම් 
			විරතියෙන් සම්මා වාචා නම් ආර්ය මාර්ගයට පිවිසිය හැකි ය. පාණාතිපාත, 
			අදින්නාදාන, කාමේසුමිච්ඡාචාර හා සුරාපාන විරතියෙන් සම්මා කම්මන්ත හා 
			සම්මා ආජීව නම් ආර්ය මාර්ගයනට පිවිසිය හැකි ය. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි ආදියෙහි විරතියෙන් සම්මා වායාම, 
			සම්මා සති, සම්මා සමාධි, සම්මා සංකප්ප, සම්මා දිට්ඨි ආදී ආර්ය මාර්ගයනට 
			පිවිසිය හැකි ය. මේ නයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මුළුමනින් ආවරණය වන බව 
			පෙනේ. මෙසේ ගත් කළ අකුසල්හි විරමණයෙන්, කුසල් මගට පිවිස ශීල ශික්ෂණය ඔස්සේ 
			සමාධි හා ප‍්‍රඥා ශික්ෂා පූර්ණය කිරීමෙන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව 
			සාක්ෂාත් කර ගැනීමෙන් නිර්වාණ ප‍්‍රාප්තියට එළඹෙන්නට හැකි වනු ඇති බව 
			පැහැදිලි ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය, ශීල ශික්ෂාවෙන් අරඹා පටන් ගතහොත් මුලින්ම එන්නේ 
			සම්මා වාචා ය. සම්මා වාචා යනු, සතරාකාර වාග් දුෂ්චරිතය නසන මිථ්‍යා 
			වචනයෙන් විරතියයි. සම්මා කම්මන්ත යනු, එසේ වැළකීමෙන් යුත් මිථ්‍යා 
			කර්මාන්ත විරතියයි. සම්මා ආජීව යනු, එසේ මිථ්‍යා කර්මාන්තයෙන් 
			වැළකීමෙන් යුත් මිථ්‍යා ආජීව විරතියයි. සම්මා වායාම යනු, ඉහත සඳහන් 
			පරිදි ශීල ශික්ෂාවෙහි පිහිටා සතර සම්‍යග් ප‍්‍රධාන් වීර්ය වැඩීමයි. 
			එනම් කුසීත විරතියයි. එහිදී 1. නූපන් අකුසල් නූපදවනු ලැබේ. 2. උපන් 
			අකුසල් මඬිනු ලැබේ. 3. නූපන් කුසල් උපදවනු ලැබේ’ 4. උපන් කුසල් වඩනු 
			ලැබේ’ සම්මා සති යනු, සම්මා වායාමයෙන් වෙර වැඩීමෙන් කාය වේදනාදීන් අනුව මනා 
			සිහියෙන් යුතුව පවත්වන මිථ්‍යා විරතිය යි. සම්මා සමාධි යනු, කුසලය 
			පවත්වා ගන්නා සිහියෙන් යුතුව විත්ත ඒකාග‍්‍රතාව පිහිටුවාලීමයි. මේ 
			ශික්ෂණයෙන් සමාධි ශික්ෂාව පූර්ණත්වයට පත් වෙයි. එහි ඊළඟ පියවර වන්නේ ප‍්‍රඥා ශික්ෂාවේ පූර්ණත්වයට පැමිණීමයි. එහිදී 
			සම්මා සංකප්ප යනු, සම්මා සමාධියෙන් එකඟ කර ගත් සිත කාම, භව හා විභාව 
			තණ්හාදි විරතියෙහි යෙදීමයි. සම්මා දිට්ඨි යනු, කාම, භව හා විභව තණ්හාදියෙන් මිදුණු සිත අවිද්‍යා 
			විරතියෙහි පිහිටා ප‍්‍රඥාව වෙත කුළු ගැන්වීමයි. ප‍්‍රඥා බහුල 
			පුද්ගලයකුට සම්මා දිට්ඨියෙන් පටන් ගෙන ප‍්‍රඥා ශික්ෂාව ඔස්සේ ශීලය හා 
			සමාධි ශික්ෂා පූර්ණය කරමින්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩා නිර්වාණය 
			සාක්ෂාත් කළ හැකි බව පෙනේ. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොතැනින් පටන් ගත්තත් නිර්වාණගාමී පටිපදා 
			පුරන්නට බාධාවක් නැත. ආර්ය මාර්ගයේ හැම අංගයක් ම අන්‍යෝන්‍ය වශයෙන් 
			එකකට එකක් බැඳී පවතින හෙයිනි, එසේම කාය, වාග්, මනස් කි‍්‍රයාකාරීත්වය ද 
			එකකින් අනෙක වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති හෙයින් ද වෙයි.  |