සුගතියට – නිවනට කැඳවන සැනසුමේ පදනම
රිට්ටාදෙණිය, ජයලංකා දහම් නිකේතන
ශ්‍රී විමලෝදය මහා පිරිවෙන්පති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජේෂ්ඨානුවිජ්ජක හා කාරක සංඝ සභික
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,කරකොළේ පියදස්සී නා හිමි
මනසක් තුළ බල පවත්වන මූල ලක්‍ෂණ අතර ද්වේශය ප‍්‍රධාන ය. එකී ද්වේශය
අභ්‍යන්තර මනස තුළ මුල් බැසගෙන තිබෙනවා පමණක් නොව එය එයට අදාළ පරිසරය
බාහිරින් ගොඩනැගෙන විට අනුයුක්තව පුද්ගල කි‍්‍රයාකාරකම් විපරිණාමයට පත්
කරමින් විනාශකාරී ප‍්‍රවණතා ඇතිවීමට ඉඩ ඇති බව නොකිව මනා ය. එහි
ප‍්‍රතිඵලයක් වශයෙන් පුද්ගල ජීවිතය පමණක් නොව පවුල, සමාජය මහත් පීඩනයකට
පත්වන කරුණු සැලසේ. අඬදබර, ගැටුම්, යුද්ධ ආදිය බවට පරිවර්තනය වී මහත්
ව්‍යසන ඇති වන්නේ මෙවැනි අවස්ථා පදනම් කරගෙන ය. මෙසේ ඇතිවන ප‍්‍රවණතා
වෙනසකට පත් කළ හැකි හඳුනාගත යුතු, අනුගමනය කළ යුතු උදාර ආධ්‍යාත්මික
ලක්‍ෂණ බොහෝ ය. ඒවා අතර ප‍්‍රමුඛත්වයක් ගන්නා මෛතී‍්‍රය, කරුණාව, ඉවසීම
වැනි ලක්‍ෂණ මූලික වේ. සත්වයා තුළ මෛති‍්‍රයෙන් කළ හැකි විපර්යාස බොහෝ
ය. එමෙන්ම ඉවසීම, ශාන්තිය මෙහිලා ඉතා වැදගත් වෙයි.
දස රාජ ධර්ම, දස පාරමිතා වැනි මූලිකාංග අතර ද ඉවසීමට මූලික තැනක් ලැබේ.
මෙම ධර්මතාව උත්තරීතර ජීවිතයක සෑම කඩඉමකටම අවශ්‍ය වන මූලල ක්‍ෂණයකි.
උදාර මිනිසකු වීමට, සක්විති රජකු වීමට, උදාර පාලකයකු වීමට, උදාර
ජීවිතයක් පවත්වා ගැනීමට පමණක් නොව ලොව්තුරා බුදුබව වැනි උත්තරීතර
පදවියකට පත්වීමට වුවද ඉවසීම අත්‍යවශ්‍ය අංගයකි. බෝධිසත්ව ජීවිතයේ දී
කළාබූ රාජ අවධිය මීට හොඳම නිදසුනකි. ක්ෂාන්තිවාදී තාපසතුමාට කළබු
රජතුමා කරන වද හිංසා අතිශය ඛේදජනක ය. එහෙත් උන්වහන්සේ තමන්ට සිදුකරන
නොයෙකුත් වද හිංසා, තාඩන, පීඩන, හිරිහැර, අත් පා කපා දැමීම ආදී
නොයෙකුත් දේ සිදුකරමින් තමා තවමත් ක්ෂාන්තිවාදී දැයි විමසන කළාබු
රජතුමාට පවසන්නේ තමා ක්ෂාන්තිවාදී බවයි. මෙතරම් වද හිංසා කළ රජතුමාට
අප‍්‍රමාණ මෛතී‍්‍ර කරමින් තමන්ට සිදු කළ බිහිසුණු තාඩන පීඩන ඉවසූහ.
සියලු අඟපසඟ සුන් කළත් නොසැලී , තම ක්ෂාන්තිවාදී ධර්මතාව මතම පිහිටියහ.
අවසානයේ දී මෛතී‍්‍ර සහගත ෙච්තනාවෙන්ම උත්තරීතර ක්ෂාන්තිවාදි
චින්තනයෙන්ම ක්ෂාන්තිවාදී තාපස තුමා දිවංගත වූහ.
මෙම කතා පුවත තුළින් බෝධි සත්ව මනස තුළ ඇති වූ මහා අකම්ප්‍ය ලක්‍ෂණය,
ආධ්‍යාත්මික ගුණ වර්ධනය වී ලොව උත්තරීතර තත්ත්වයට පත්වීමට අවශ්‍ය මාවත
විවර කරගැනීමට හේතු විය. මනුස්සකම බැබළවීම සඳහා මෙබඳු ලක්‍ෂණ මූලාධාර
වේ. ජීවිතයකට එළැඹෙන අභියෝග වලට, ගැටලු වලට මුහුණ දීමට අවශ්‍ය ප‍්‍රබල
ශක්තියක් මේ තුළින් නිර්මාණය වෙයි. තීරණ ගැනීමේ දී මෙම ප‍්‍රබල ඉවසීමේ
ශක්තිය අතිශයින් නිවැරැදි ස්ථාවරයකට පුද්ගලයා ප‍්‍රවේශ කිරීමේ හැකියාව
ඇති කරන බව පෙනේ. මෙම ලක්‍ෂණයෙන් තොරවීම නිසා බොහෝ පුද්ගලයෝ තම ජීවිතය
අවුල් කර ගනිති. පවුල් අවුල් කර ගනිති. බොහෝ විනාශවලට මං පෙත් විවර කර
ගනිති. නොයෙක් අපරාධ කරති. හිරේ විලංගුවේ වැටෙති. අද ද බන්ධනාගාරවල
දඬුවම් ලැබ සිටින අයගෙන් 99% ක්ම මේ තත්ත්වයට යොමු වී ඇත්තේ ක්ෂාන්ති
ලක්ෂණයෙන් බැහැරවීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.
“ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙර උසුලනා මහ මිහිකතටත් වැඩිය”
වැනි ප‍්‍රකාශ වලින් පැහැදිලි කරන්නේ සතුරන් ජය ගැනීමට ද ඉවසීම
පිටුබලයක් වන බවයි. ජීවිතයක සාමකාමී පරිසරය රැකීමට ඉවසීම කෙතරම් දුරට
ඉවහල් වනවාදැයි සිතා බැලිය යුතු ය. තමන්ට එල්ල වන අභියෝගවලට මුහුණදීමේ
ශක්තිය ඇතිකර ගැනීමට ඉවහල් වන බොහෝ අත්දැකීම් බෞද්ධ සාහිත්‍යයෙහි
අන්තර්ගත වේ. බුදුරදුන් හමුවීමට පැමිණෙන තමන්ගේ එකම සොයුරා පැවිදි
කිරීම නිසා ද්වේෂා වේශයෙන් රත් වූ බමුණකු දිනක් බුදුරජාණන් වහන්සේට එක
දිගටම දීර්ඝ වේලාවක් බැණගෙන බැණගෙන ගියේය. ඔහුගේ දෝෂාරෝපණයට සවන් යොමු
කරමින් බුදු හිමියන් නිහඬව වැඩ සිටියහ. බැනුම නිමවන තෙක් නිහඬව සිටි
බුදුරදුහු බමුණාගෙන් ප‍්‍රශ්නයක් ඇසූහ. “ඔබ ඔබේ නිවෙස් සාදයක් සූදානම්
කළ විට ඊට ආරාධිත ඔබේ හිතවතුන් පැමිණ එය ප‍්‍රතික්ෂේප කළහොත් ඔබ කරන්නේ
කුමක් ද? ඔබ සූදානම් කළ සියල්ල විසි කර දමනවා ද?” බැනුම අවසානයේ දී
මඳක් සන්සුන්ව සිටි බමුණා බුදුරදුන්ගේ පැනයට පිළිතුරු දෙමින්, “නැහැ,
අපි ඒවා පරිභෝජනය සඳහා ගන්නවා” යැයි කීවේය. ඔහුගේ පිළිතුර අසා සිටි
බුදුරජාණෝ සිහින් සිනාවක් පා සඳහන් කොට වදාළේ, “මට ඔබ මෙතෙක් කළ
සංග‍්‍රහය ද මා භාර නොගත් බැවින් ඔබම භාර ගන්න” කියාය. මේ පුවත තුළින්
තමාගේ ජීවිතය ජය ගැනීමට ගත හැකි අති ප‍්‍රබල පිටුවහල ඔබට නොතේරේ ද?
අනුන් කෝපයෙන් සිදු කරන බැනුම්වලට හොඳින් සවන් දී ඒවා මනසට නොගැනීම සහ
ප‍්‍රතිචාර නොදැක්වීම තුළ බෙහෙවින්ම ඒවා දියවී යෑමට ඇති ඉඩකඩ බොහෝ ය.
එමෙන් ම බාහිර අභියෝගවලට මුහුණ දෙන විට එය තමන්ගේ පූර්ව දුර්වලතාවයක්
මත පැන නැගුණක් යැයි සිතිය යුතුය. එයින් තමන්ගේ මනසට එන ආවේගය පාලනය කළ
හැකිය. තමන්ට අභියෝග එල්ල කරන්නන්ගේ මෝඩකම සහ දුබලකම ද සිහිපත් කිරීම
ඉතා වැදගත් වේ. ඔබේ පාදය බල්ලකු සපා කෑ විට, ඔබ ද බල්ලාගේ පාදය සපා
නොකන බව මෙනෙහි කොට ඉවසීමෙහි වටිනාකම දෙසට මනස යොමු කළ යුතු ය. ඒ තුළ
අධ්‍යාත්මික ජයග‍්‍රහණ අත්කර ගත හැකිය. මනසට එන ක්‍රෝධාග්නිය යටපත් කොට
මානසික සමබරතාව ආරක්ෂා කර ගත යුතුය. ක්‍රෝධාවේගය සිතිවිල්ලට, වචනයට,
කි‍්‍රයාකාරකමට පරිවර්තනය වීමට ඇති ඉඩ ආවරණය කළ යුතුය.
සමාජයේ ඇතිවන ගැටලු දෙස ඉවසීමෙන් බැලීමෙන් හා කටයුතු කිරීමෙන් සැනසිල්ල
අත්කර ගැනීමේ පූර්ණ වගකීම ඔබ සතු ය. ඉවසීමෙන් තමන්ගේ ජීවිතය වෙත
සැනසිල්ල ළඟා කර ගන්න. බොහෝ පුද්ගලයන් ඉවසීමෙන් ගැටලු ජයගත් අවස්ථා ගැන
නිතර සිතා තම පෞරුෂයෝ වර්ධනය ඇතිකර ගත හැකි ය. සමාජය තුළ
නොවිමසිල්ලෙන් කි‍්‍රයා කරන අය පිළිකුළට ලක් වෙති. ඔවුන් සම්බන්ධ වන
දේවලට ද සම්බන්ධවීමට බොහෝ අය අකැමැත්තක් දක්වති. සෑම තත්පරයකදීම ඉවසීම
අවශ්‍ය වන්නේ තම ඉඳුරන් සය තුළින් ආවේග මතුකරන සාධක නොකඩවා තමා වෙතට
ගලා එන බැවිනි. ඒ තුළින් බුදුරදුන් වදාළ, “න නිමිත්තග්ගාහී හෝති” යන
පාලක ශක්තිය ඇතිකර ගත යුතුය.
නිරන්තරයෙන් ඉවසීමේ ගුණයෙන් යුතු පුද්ගලයා ජය ගනී. ඒ තුළින් තම
ජීවිතයේ, පවුලේ, සමාජයේ ප‍්‍රශ්න සමඟ ගැටීම නැති වේ. ප‍්‍රඥා සම්පන්නව
කටයුතු කිරීමේ හැකියාව ඇති කර ගත හැකිය. තමන්ට පමණක් නොව, තම පවුලට ද
තමන් ජීවත්වන සමාජයට ද ආලෝකයක් ලබාදීමට මෙම ලක්ෂණය බෙහෙවින් උපකාරී වේ.
ලෝකය ජය ගත් බුදුරජාණන් වහන්සේ ප‍්‍රධාන සියලු උත්තමයෝ ඉවසීම නිසා ම
ලොව ජය ගත්තෝ ය.
උන්වහන්සේගේ උතුම් චරිත අප ආදර්ශයට ගත යුතුය. මෙය පාදක කර ගෙන සියලු
ජීවිත ගැටලු ජය ගත හැකිය. ඉවසීම ඇති අයට ජීවිතයේ ජය ගත නොහැකි කිසිවක්
නැත. ජීවිතාරම්භයේ පටන්ම පුරුදු පුහුණු කළ යුතු ජීවිතයට අවශ්‍ය සියලු
කුසලතා ලබාගෙන සියලු ලැබීම් රැකියා ආදී සියලු දේ වර්ධනය කර ගැනීමේ
මූලිකම ශක්තිය වන්නේ ඉවසීමයි. ඔබ ඔබේ ජීවිතය දෙස මෙන්ම විශිෂ්ටයන්ගේ
ජීවිත දෙස ද හැරී බලන්න.
ඔබේ ජීවිතයේ දී නොඉවසීම නිසා පරාජය වූ අවස්ථා සිහිපත් කරන්න. සෙස්සන්
ඉවසීමේ ශක්තිය තුළින් ලැබූ ජයග‍්‍රහණ ගැන සිතා එය ආදර්ශයට ගෙන ඒ තුළින්
තමන්ගේ නොඉවසීමේ දුබලතාව පිටු දකින්න. එය ඔබ පෝෂණය කරාවි. උදාර මානුෂීය
ලක්ෂණ තුළ ඔබ උදාර පුද්ගලයෙකු බවට පත්වනු ඇත. පවුල, සමාජය රට පිළිගන්නා
පිරිපුන් මිනිසකු බවට එය ඔබ පත්කරාවි. එම නිසා අනුකම්ප්‍ය චරිතයක් ඔබ
තුළ ගොඩනගා ගන්න. ඔබට මෙලොව පරලොව සාර්ථකත්වයත් නිවනත් සාක්ෂාත් කර
ගැනීමේ කුසලතාව නිර්මාණය කර ගැනීමට මෙම උදාර ගුණාංගය පාදක කර ගනු
මැනවි. බුදුරදුන්ගේ අධ්‍යාත්මික ගුණාංග තමන්ගේ මනසේ ජීවත්කරවීමට වග
බලාගනු මැනවි. එය ඔබව විශිෂ්ටයකු බවට පත් කරාවි. |