Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත් වසක් මවු කුස දුක් ඉසිලූ පාපය

සත් අවුරුද්දක් පිරුණා වූ ගර්භයෙන් නැගෙන දැරිය නොහැකි වේදනාවෙන් සුප්පවාසාව ක්ලාන්ත වූවක් මෙන් විය. මේ වේදනාව හට ගෙන දැනට සතියකි. දරු ගැබ හටගෙන සත් අවුරුද්දක් පිරී ඇත. දරු පැටියා ගේ මුහුණ බලන්නට සත් අවුරුද්දක් පෙරුම් පිරූ නමුත් දැන් දැනෙන වේදනාව කසේ නම් දරන්නද? සුප්පාවාසා වේදනාව දරමින්ම බුදුගුණ, දම් ගුණ සඟ ගුණ මෙනෙහි කරන්නී වේදනාව ඉවසා සිටින්නට උත්සාහ කළා ය. එහෙත් එන්ට එන්ටම වේදනාව වැඩිවද්දී ඈ සිය ස්වාමියා ළඟට ගියා ය.

“ස්වාමීනී, වේදනා දැරිය නොහැකි ය. සත් අවුරුදු සත් දිනකට ආසන්නය. සම්මා සම්බුද්ධ වූ භවත් ගෞතමයන් වහන්සේට මෙපුවත් සැළකොට උන්වහන්සේගේ ආශිර්වාද රැගෙන එතොත් යහපති.” සුප්පවාසාගේ සැමියාද බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් සියලු පුවත් සැළකර සිටියේ ය. අනූපමේය වූ සීල මෛතී‍්‍ර ගුණාදියෙන් පිරුණා වූ සර්වඥයන් වහන්සේ කෝලිය රජු දූ සුප්පවාසා සුවපත් වේවා.. නිරෝගී වේවා... පුතෙකු ලැබේවායි සත්‍ය ක්‍රියා කළ සේක. ඒ සත්‍ය ක්‍රියා බලයෙන්.. මෙතෙක් විඳි සියලු වේදනාවන් හිරු දුටු පිණි මෙන් වියැකී ගිය සුප්පවාසාව, නීරෝගී රන් රුවක් හා සමාන පුත්‍ර රත්නයක්ම වැදුවේ “සීවලී කුමාරයෝ” යැයි නම් තැබුවා ය. සත් අවුරුදු සත් දිනක් මුළුල්ලේ විඳි වේදනාවෙන් මිදීම බුද්ධානුභාවයෙහි ආශ්චර්යක්මැයි සිතූ සුප්පාවාස පුතු ලැබ සතියක් මුළුල්ලේම බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටගත් මහා සංඝයාට දන් දෙනු කැමැතිව ආරාධනා කළා ය.

සතියක් මුළුල්ලේ බුදු පාමොක් මහ සඟනට, දන් පිරිනැමූ සුප්පාවාසාවෝ සත්වෙනි දවස සීවලී කුමරු සරසා භික්‍ෂූන් වහන්සේ වන්දවන්නේ, සැරියුත් මහ තෙරුන් සමීපයට කුමරු ගෙන ගියා ය. සැරියුත් තෙරුවන් වහන්සේ මෙසේ ඇසූ සේක.

“කෙසේද? කුමාරයිනි, සැපසේ සිටින්නේ ද?” සියල්ලෝම පුදුමයට පත් කෙරෙමින් ඒ සත් දිනක් වයසැති ළදරු කුමරුවා මෙසේ කීවේ ය. “කුමන සැපයක් ද ස්වාමීනී ? සත් අවුරුද්දක් ලෝකුඹු නිරයෙහි පැසුණෙමි” සුප්පවාසාවගේ පී‍්‍රතිය නිම්හිම් නැති විය. “ස්වාමීනී... කෙබඳු දුකක් දැරුවද මෙවැනි පුතුන් සත් දෙනකු වුව ලැබෙන්නේ නම් කෙතරම් වටීද...” යි ප්‍රකාශ කොට බුදුරජාණන් වහන්සේ ගේ අනුමෙවනි දම් අසා පී‍්‍රති ප්‍රමෝදයට පත් වූවා ය.

සත් අවුරුද්දක් මව්කුස දුක් අනුභව කළමුත්, පියුමතුරා බුදුපාද පද්මය අබියස මහ දන්දී කළ ප්‍රාර්ථනය ද විපස්සී බුදු සමයෙහි, දහසක් වස්ත්‍ර හා උක් සකුරු දන් දී කළ ප්‍රාර්ථනාවන්ගේ ද බල මහිමයෙන්, මහ පිනැති සීවලී කුමරු සත් හැවිරිදි කලම මහණව, නිසි කල උපසම්පදාව ලැබුයේ, සියලු කෙළෙසුන් නසා අරහත් පලයට පත්ව, ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානයට පත් වූ සේක... මහ පිනැති සීවලී හිමියෝ වඩිනා මඟ ලාභයම වන්නේ ය. ප්‍රත්‍යයෙන් හිඟ නැත. බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ වනගත ප්‍රදේශවලින් වඩිද්දී.... “ මා පුත් සීවලී ඇත්නම් ප්‍රත්‍යලාභය ගැන බිය නොවිය යුතු ය” යයි වදාරණ සේක..... සීවලී මහරහතන් හිමියන්ගේ මහා පිනැති බව අස්සක් මුල්ලක් නෑර පැතිර යන්නේ ය. තැන තැන ජනී ජනයා ඒ ගැන විමසති. දම්සභා මණ්ඩපයට රැස්වන භික්‍ෂූන් වහන්සේලා ද දිනක් මෙසේ කතිකා කරන සේක... “මෙබඳු වූ මහ පිනැති සීවලී ස්ථවිරයන් වහන්සේ සත් අවුරුද්දක් මුළුල්ලේ මව්කුස සිට මහ දුක් විඳින්ට වූ කාරණය කුමක් විය හැකිද? දශබලධාරී ශාක්‍යසිංහ වූ තිලෝගුරු බුදුපියාණෝ හාත්පස ඒකාලෝක කරමින් දම්සභා මණ්ඩපයට වැඩම කළෝ. “මහණෙනි කුමන කථාවකින් පසුවිණි ද?” යි ඇසූ සේක. “ස්වාමීනී, සීවලී මහ රහතන් වහන්සේ ගැනය....” “මහණෙනි... සියලු දෙයටම මුල කර්මයම නොවුනද.. බොහෝ දෙය පෙර කළ කුසලා කුසල කර්මානුරූපව සිදුවේ. මහ පිනැති වුව සීවලී ස්ථවිරයන් සහ සුප්පවාසාව සත් අවුරුද්දක් දුක් අනුභව කළෝ පෙර තමන් විසින් කළ කර්මයම මුල් කොටගෙන ය...

“ස්වාමීනී ඉකුත්වත් ගෙනහැර දක්වනු මැනවි” “මහණෙනි....” යටගිය දවසක කොසොල් නම් රජ්ජුරු කෙනෙක් මහ යුධ කොට බරණැස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් ජීවිතක්‍ෂයට පමුණුවා රාජ්‍යය පැහැර ගෙන ඒ අග මෙහෙසුන්ව තමනට අගය මෙහෙසුන් කොට රාජ්‍යය කළේ ය. බ්‍රහ්මදත්ත රජුගේ පුතණුවෝ පලා ගොස්, සේනාව රැස් කරවා, බරණැස් නුවරට ගොස්, රාජ්‍යය හෝ යුද්ධය යැයි කොසොල් රජුට හසුන්පත් යැවී ය. කොසොල් රජුද යුද්ධ කෙරෙමි” යි දන්වාලූහ......එවිට කොසොල් රජුගේ අග මෙහෙසුන් බවට පත් වූ කුමරුගේ මව...

“යුද්ධයකින් ජය ගත නොහැක.... හැම ද්වාරයක්ම වසා බරණැස වටලා ගනුව. කැඳ බත් නැතිව ගිය තැන යුද්ධයක් නොමැතිව ජයගත හැකි ය.” යැයි හොර රහසේ හසුන්පත් යැවූහ. එකල්හි කුමාරයෝ සත් දවසක් මුළුල්ලේ නුවර වටලා කැඳ, බත් දර හිඟ වී ජනයා දුබලව ගිය කල නුවර තුළට වැද සත්වෙනි දින කොසොල් රජුගේ හිස සිඳ රාජ්‍යය ගන්නා ලදහ... මෙසේ සතුරු සේනාවට පීඩා කිරීමට සත් දිනක් නුවර වැටලූ අකුසල කර්ම විපාකයෙන් සත් අවුරුද්දක් මව්කුස දුක් ගන්නට සීවලී ස්ථවිරයන් වහන්සේට සිදු වූ දෑය. ඒ උපා යෙදූ මෑණියන් සත් අවුරුදු පුරා ගැබ් දරා පීඩා වින්දා ය. කුසලා කුසල කර්මය නම් උපන්හුට නොවැරදීම විඳින්නට සිදුවේමය. නුවර වටලා නුවරුන් හාමත් කොට තැබූ අකුසලයෙන් සීවලී ස්ථවිරයන් මෙසේ දුකට පැමිණියද, පියුමතුරා බුදුන් දවස හා විපස්සී බුදු සමයෙහි මහ දන් දී කළා වූ කුසල කර්ම ප්‍රාර්ථනා වේ මහිමයෙන් මෙසේ මහ පිනැතිව ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ලැබුවෝ ය.

කුසලා කුසල ධර්මයන්ගේ මහිමය මෙයම බව දැන අප්‍රමාදව කුසල් දම් පුරව්. යැයි.. සීහ නාදයෙන් අනුශාසනය කොට එකල නුවර වටලා රාජ්‍යයට පැමිණි කුමාරයෝ නම් මෙකල සීවලී ස්ථවිරයෝ ය. මෑණියෝ සුප්පවාසය... පියා වූ බරණැස් රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුද්ධ වූ මම්ම වේදැයි.. ශ්‍රී මුඛ දේශනාවෙන් “අසාත රූප” ජාතකය නිමා කළ සේක.

අසාතරූප ජාතකය අසුරිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.