Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බුදුරදුන්ගේ ප‍්‍රතිරූපය හා කේශධාතු සංකල්පය’ට පිළිතුරක්

බුදුරදුන්ගේ ප‍්‍රතිරූපය හා කේශධාතු සංකල්පය යන මැයෙන් එස්. නිමල් ප‍්‍රනාන්දු මහතා 2007.08.28 දින බුදුසරණ පත‍්‍රයට ලියූ ලිපිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සිත් විය.

ඔහුගේ මෙම ලිපියෙන් බෞද්ධ ජනතාවගේ ශ‍්‍රද්ධාව බිඳෙනසුළු බවත්, බෞද්ධයා බුදුන්වහන්සේ කෙරෙහි දක්වන ගෞරවනීය බව තුරන් කිරීමට හේතුවන බවත් පෙනේ. නිමල් මහතා පවසන පරිදි මෙම කේශ ධාතු සංකල්පය, වැරැදි අදහසකි. එයට එතුමා දක්වන සාධක තුනකි. එනම්,

1. බුදුන් වහන්සේ හිස කෙස් වවාගෙන සිටි බව

2. ඒවා අත ගෑ පමණින් ගැළවෙන දුර්වල ඒවා බව

3. නොඑසේ නම් හිසට වේදනා ගෙන දෙමින් උන්වහන්සේ හිසකෙස් ඇද ගලවා දුන් බව.

ඒ මහතා දක්වන මෙම තර්ක ඉතා බොළඳ ඒවා බව පෙනේ. භික්‍ෂුවකට ‘දෑගුලක්’ (අගල් දෙකක්) පමණ හිසකෙස් වවා ගැනීමට ඉඩ තිබෙන බව නොදන්නේද? භික්‍ෂුවකට අඟල් දෙකක් පමණ වැවුණු හිසකේ තිබුණහොත් එවැනි හිසකින් කෙස් ටිකක් ගලවා දීමට නොහැකි ද?

ඒ මහතා පෙන්වාදෙන අනෙක් කරුණ නම් අතගෑ පමණින් ගැලවෙන හිසකෙස් දුර්වල ඒවා බවයි. සාමාන්‍යයෙන් නිරෝගී කෙස් ඇත්තකුගේ හෝ තැනැත්තියකගේ හිසින් අත ගා කෙස් ටිකක් ගැනීමට නොහැකිද?

අනෙක් කරුණ නම්, විවිධ මානසික ශක්තිවලින් හෙබි බුදුරදුන් විසින් වෙනත් අයකුට කේශධාතු ස්වල්පයක් ගලවා දීම නිමල් මහතා පවසන පරිදි වේදනා විඳිමින් කළ යුතු දෙයක්ම විය යුතුද?

විවිධ පුද්ගලයන්ට විවිධ ප‍්‍රාතිහාර්ය පෙන්වමින් විවිධ ක‍්‍රම මඟින් නිසිමඟ පෙන්වූ බුදුරදුන්ට වේදනාවෙන් තොරව කේශධාතු ස්වල්පයක් ලබා දීමට නොහැකි වූයේද?

එහෙයින් බුද්ධ ශක්තිය, බුද්ධ ගුණ නිසි අයුරින් අවබෝධ නොකොට මෙවැනි ප‍්‍රකාශ නොකළ යුතු ය.

භික්‍ෂූන් වහන්සේට හිස මුඩු කිරීමට පවසා, බුදුන්වහන්සේ ද එසේ මුඩු හිස්ව සිටි නිසා එවැනි හිසකින් කෙස් දීම ප‍්‍රලාපයක් ය යන කියමන කිසිසේත් සුදුසු නොවන බව පෙනේ.

බුදුන් වහන්සේ හිස මුඩු කර සිටියාද? නැද්ද? බුදුන් වහන්සේගේ හිස කෙස් ගැලවෙන දුර්වල ඒවා ද ආදී කරුණු වලට වඩා වැදගත් වන්නේ, උන්වහන්සේ එම අවස්ථාවේ දී එම ශ‍්‍රද්ධා බුද්ධි සම්පන්න පුද්ගලයන්ගේ (තපස්සු භල්ලුක, සුමන සමන් ආදී) ඉල්ලීම ඉටු කිරීමට කොපමණ කාරුණික වූයේ ද යන්නයි.

මතු පරම්පරාවල පුද්ගලයන්ගේ ද ශ‍්‍රද්ධාව වැඩෙනු වස් ලෝකෝත්තර එවැනි පුද්ගලයකු තම ශරීරයේ කොටසක් ලබාදීම කොතරම් භාග්‍යයක්ද? එවැන්නක් බෞද්ධයකු වන ඔබට නොවැටහීම පුදුමයකි.

ඒ මහතා පවසන අනෙක් කරුණ නම් ‘කෙස්’ දෙතිස් කුණප වලින් එකක් නිසා එවැනි කුණප කොටසකට වැඳුම් පිදුම් කිරීමට තම අනුගාමිකයන්ට බුදුන් වහන්සේ ඉඩ දුන් බව විශ්වාස කළ නොහැකි බවයි.

එය විශ්වාස කළ නොහැකි නම් දත් (දන්ත ධාතූන් වහන්සේ ද) ඇට (අනෙකුත් ශාරීරික ධාතු) ද බුදුරදුන්ගේ ය යන්න ප‍්‍රතික්ෂේප කිරීමට සිදුවෙයි. නිමල් මහතා එසේ ඒවාද ප‍්‍රතික්ෂේප කරනවාද යන්නට පිළිතුරු දිය යුතු ය.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම ආනන්ද බෝධීන් වහන්සේ පිහිටුවන ලද්දේ බුදුන් වහන්සේ නොමැති අවස්ථාවකදී එම වෘක්‍ෂයට බුදුන් වහන්සේට කරන ගෞරවයක් ලෙස සලකා වන්දනාමාන කිරීමට ය. එය එසේ නම් නිමල් මහතාගේ අදහස අනුව උන්වහන්සේගේ පෞරුෂයට එම කි‍්‍රයාවලියෙන්ද හානි සිදුවෙයි. එහෙත්, එය එසේ නොවේ.

අප හමුවේ අද බුදුන් වහන්සේ නොමැති වූවද උන්වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය අප සතුව පවතී. එම දහම අනුගමනය කරමින් (ප‍්‍රතිපත්තියෙන්) අපට උන්වහන්සේ වෙත ගෞරව දැක්විය හැකි ය. එය උන්වහන්සේ වෙනුවෙන් කරන විශාලතම ගෞරවයද වේ.

එසේම උන්වහන්සේ වෙනුවෙන් තැනූ පිළිම චෛත්‍යය, බෝධීන් වහන්සේ ඇතුළු දේ ඇසුරින් ද උන්වහන්සේ වෙත ගෞරව දැක්විය හැකි ය.

මෙමඟින් පුද්ගලයකුට ශ‍්‍රද්ධාව ජනිත කරගත හැකි ය. මෙහිදී එම ස්ථාන හෝ පූජාර්භ දේ පිළිබඳ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කිරීම නිශ්ඵල ය. අප සියලු පූජා කරන්නේ බුදුරදුන් අප ඉදිරියේ ජීවමානව සිටිනවා යන ගෞරවනීය අදහස ඇතිව ය.

එය අපට තවදුරටත් ධර්මයෙහි හැසිරෙමින් අපගේ විමුක්තිය සාදා ගැනීමට රුකුලකි.

මේ අනුව කේශධාතු සංකල්පය බුදුරදුන්ගේ ප‍්‍රතිරූපයට කිසිසේත් අගෞරවයක් නොවේ.

එම ධාතූන් වහන්සේ ද අනෙක් ධාතූන් වහන්සේ සේම පූජාර්හ වෙයි. එහි අනෙක් වැදගත්කම වන්නේ බුදුන්වහන්සේ ජීවමාන සිටියදීම උන්වහන්සේ වෙත ශ‍්‍රද්ධාව තහවුරු කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීමය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.