Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප‍්‍රශ්නය - “දේවතාවෙක් දේවතාවියක සමඟ ජීවත් වීම” මෙයින් සුන්දර අඹුසැමි දෙදෙනෙකු ගැන කිය වේ. දෙවිදේවතාවන් වැනි මෙම අඹුසැමියෝ උත්තම ගණයේ පති පතිණියන් ලෙස සලකනු ලබති. එකිනෙකාගේ ජීවත්වීමේ අයිතිය බුහුමනින් පිළිගන්නා “මුසා, පිසුණු හිස් වදන් තෙපලීමෙන් මිදුණු අභිධ්‍යාවෙන් නොවැඩුණු පරහිතයෙහි නිරත සම්‍යග් දර්ශී උදාර චරිතවත් සැමියා යුග දිවියෙහි දෙවියෙකු ලෙස දක්වා ඇත. ඒ හා සම ගුණෝපශෝභනී ධම්පත්ති භාර්යාව යුග දිවියෙහි දේවතාවියකට උපමා කොට තිබේ. මෙබඳු දේශනා මඟින් තහවුරුවන්නේ යුගදිවිය දිව්‍යමය තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය කරුණු බුදු දහමෙහි පැහැදිලි කොට ඇති බවයි.

සමාජ සංස්කෘතිය කෙරෙහි “විවාහ ජීවිතය” සෘජු බලපෑමක් කරන බව බුදුසමය පිළිගනී. විවාහය දෙස සමාජ විද්‍යාත්මක ව බැලීමෙහි දී වැදගත් වන කරුණකි සමාජ අනුමැති ය. බුදු සමයට අනුව “පස්කම් සැප අනුභව කරන මල් ගඳ විලවුන් ඈ දරන ගිහි කාමභෝගී අයට පංචකාම විෂය, සමාජ සංයුතිය (පැවැත්ම) සඳහා අනුමත ය. එහෙත් කාමයෙහි වරදවා හැසිරීමට, සංයුතිය උල්ලංඝනය කිරීමට අනුමැතියක් දී නැත. මිථ්‍යාචාරයෙන් වෙන්ව සම්මාචාර පිළිගත් බුදුසමය, විවාහය පිළිබඳව තත්ත්වය සබඳතා මනාව හෙළි කරයි. නිදසුනක් මඟින් අනාවරණය කරන්න.

පිළිතුර - සමාජයන් හි ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ කවුරුන් අතර ද යන්න බුදුසමය පැහැදිලි වම “කාමෙසු සම්මා ආචාරය” විවරණය කරමින් අනුමත කරයි.ඒක පුරුෂ, බහු භාර්යා සේවනයත් බහු පුරුෂ ඒක භාර්යා සේවනයත් සමාජ සංයුතිය ඉක්මවා යන දුරාචාරයකි. ඒක පුරුෂ ඒක භාර්යා සේවනය අනුමත කරමින් එයට සමාජ විද්‍යාත්මක පදනමක් ද නිර්මාණය කරයි. සමාජ සම්මතය පිළිගත් ලිංගික සබඳතා ගොඩනැගෙනුයේ විවාහය මඟින් ය. උපත ලබන දරුවන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා පිළිගැනීම සඳහා ද උපකාර වනුයේ විවාහයයි. “සිය දරුවන් නීත්‍යානුකූල වන පරිදි කාන්තාවක හා පිරිමියෙකු අතර හට ගන්නා සම්බන්ධය විවාහයයි”. අඹු සැමි දෙදෙනෙකුට දරුවන් ලද විට එම යුවළ වෙත කාර්යභාරයක් ද පැවරෙයි. ඒ මව්පිය යුතුකම් හා වගකීම් සිඟාලෝවාද සූත‍්‍රයෙහි නැගෙනහිර දිසාව යටතෙහි අවධාරණය කරයි. එයට සමාන්තර ව දූ දරු යුතුකම් හා වගකීම් ද සඳහන් කරන එම සූත‍්‍රය පවුල් ඒකකයේ චිර ජීවනය සඳහා දෙපාර්ශවයේ වගකීම් යුතුකම, දෑතක, එකඟතාවය මෙන් සන්ධානගත යුතු බවද අවධාරණය කරයි. ප‍්‍රථමයෙන් දූ දරු වගකීම් පැහැදිලි කරමින් “භතො නෙසං හරිස්සාමි” වියපත් ආබාධිත මව්පියන් හට උපස්ථාන කළ යුතු ය. එසේම දෙගුරුන්ගේ කුදුමහත් කටයුතු ඉටුකරදීම ද දරුවන්ගේ වගකීමක් බව පැහැදිලි කරයි. “කිච්චං තෙසං කරිස්සාමි” කුල පරම්පරානුගත සිරිත් විරිත් ද ආරක්‍ෂා කළ යුතු වන්නේ ය. “කුල වංසං ඨපෙස්සාමි” මව්පිය පරිත්‍යාගය අල්ප වූවද අනල්ප වූවද ඒ හැම මැනවින් රැක්ක යුතු වේ. “දුයජ්ජං පට්ටජ්ජාමි” මේ හැම කරුණු මව්පිය දූ දරු සම්බන්ධය සඳහා අත්‍යන්ත උපකාරිය, මව්පියන් මියගිය කළ දක්ෂිණා පිරිනැමීම ආදියෙන් ඔවුන් වරින් වර සිහිපත් කිරීම ද දරුවන්ගේ යුතුකමකි. “පෙතානං කාලකතානං දක්ෂිණා අනූප දස්සාමි” සුත‍්‍රාගත දේශනාවලට අනුව දරුවන් කෙරෙහි පැවැත්විය යුතු යුතුකම් ද මෙසේ අවධාරණය කොට ඇත.

ප‍්‍රශ්නය - අඹූ සැමි සබඳතාව “උතුම් ගිහිගෙය” යන අරුතින් “සදාර බ‍්‍රහ්මචරිය” යනුවෙන් ප‍්‍රකට වූ අතර ගිහි සැපය සදාර සන්තුට්ඨිය යන ලෙසින් නම් කෙරිණ. මෙම ප‍්‍රස්තුතයෙන් කියවෙන්නේ බෞද්ධ ගෘහස්ථයාට ගැළපෙන ලෙස බුදුන්වහන්සේ දේශනා කළ ගිහි වත ය. අගැයීමක් කරන්න.

පිළිතුර - දීඝජානු කෝලිය සිටුපුත් බුදුන් වහන්සේ වෙත එළඹ මෙසේ අයැද සිටී. “ මයං භන්තෙ ගිහි කාමභෝගී පුත්ත සම්බාධ සයනං අජඣාවසාම කාසි වන්දනං පච්චනුහොම මාලා ගන්ධ විලේපන ධාරායාම ජාතරූප රජතං සාදියාම, කෙස නො භන්තෙ භගවා තථා ධම්මං දෙසෙකු යෙ අමහා කං අස්සු ධම්මා දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්භ සුඛාය, සම්පරාය හිතාය සම්පරාය සුඛායති”

අනුවාදය

භාග්‍යවතුන් වහන්ස, ගිහි කාම භෝගීන් වන අපි අඹු දරුවන් සමඟ කම්සුව විඳින්නෙමු. කසී සළු හා සුවඳ මල් ගඳ ඈ දරන්නෙමු. රන්රිදී පරිහරණය කරම්හ. ඒ අපව මෙලොව පරලොව යහපත පිණිස දහමක් ඇත්නම් දේශනා කොට වදාළ මැනවි. මෙබඳු ඉල්ලීමක් කළ සිටු පුත‍්‍රයාට මෙන්ම “උජ්ජය” බමුණුට ද බුදුරජාණන් වහන්සේ විසින් මෙලොව පරලොව හිත සුව පිණිස වන්නා වූ දහමක් සසුනෙහි ඇති බව දේශනා කොට වදාළහ. අඹු දරුවන් දැහැමින් පෝෂණය කරමින් පින් කරන සිල්වත් ගෘහපතියන්ට තමන් වඳින බව දෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් ප‍්‍රකාශ කළ බව “සක්ක නමස්සන” සූත‍්‍රය කියයි. ජීවිතා වෘත්තිය වශයෙන් ඉතා සුළු වැඩපළ කරමින් දුක සේ ජීවිකාව ගෙවන දිළින්දකු අඹු දරුවන් පෝෂණය කරමින් දහමෙහි හැසිරෙමින් කෙරෙන අල්පමාත‍්‍ර වූ පරිත්‍යාගය පවා සහස‍්‍රයාග කළ ලක්‍ෂයකගේ මහා යාගයකටත් වඩා සිය ගුණයක් අගනේ යැයි බුදුහිමියන් විසින් මෙසේ පෙන්වා දී ඇත. (ස.නි. මච්චරිය සූත‍්‍ර)

ධම්මංචරෙ යොපි සමුක්ජතා චරං දාරං ච පොසං දද මප්පකස්මිං සතං සහස්සානං සහස්සයා හිතං කලම්පි නග්ඝන්ති තථා විධස්සතෙ පවුල් ජීවිතයක් සාමාජික යුතුකම් ඉටු කිරීම වැඳීමක් (නමස්සෙය්‍ය) ලෙසින් හැඳින්වීම ඉතා වැදගත් වෙයි. මේ සියලු කරුණින් පැහැදිලි වන්නේ බුදුසසුන තුළ පවුල් දිවිය ස්ථාවර සංස්ථාවක් ලෙසින් පිළිගැනුණු බවත් දැහැමි පවුල් දිවිය බුදු දහමෙහි ප‍්‍රකාශිත බවත් ය.

ප‍්‍රශ්නය - සමාජ සදාචාරය පිළිබඳ පවුල් ඒකකයට විශාල වගකීමක් බුදුසමය විසින් පවරා තිබේ. මේ පිළිබඳ ව බෞද්ධ සංකල්පය කුමක් ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර - බෞද්ධ සමාජ ක‍්‍රමය අයිතිවාසිකම් හා යුතුකම් අතරත බැඳී පවත්නා සජීවී බලවේගයකි. පුද්ගලයෙකු වශයෙන් සමාජගත ජීවිතයෙහි දී කවරකු වුව ද ඉටු කළ යුතු සමාජයීය කාර්යභාරයන් කිහිපයක් ඉටු කරන්නට සිදු වේ. සැමියා ලෙස පියා ලෙස, පුතා ලෙස, ගෙහිමියා ලෙස, ස්වාමියා ලෙස හැසිරීමෙහි දී මේ විවිධ සමාජ කාර්යභාරයන් ප‍්‍රකට වේ.

ප‍්‍රශ්නය - ලොව දුර්ලභ වූ භෞතික සම්පත් බොහෝ ය. බුදු දහමට අනුව “ඉට්ඨා කන්තාමනාපා දුල්ලභා ලෝකස්මිං කතමේ දස” නුවෙන් දැක්වෙන ලෙස එම භෞතික සම්පත් වලින් දසයක්, ලැබීමට අතිශයින්ම අපහසු දැකුම්කළු පි‍්‍රයමනාප වූ ධර්ම දසයකි. ඒ මොනවාද?

පිළිතුර - ලෝකයේ අතිශයින් දුර්ලභ වූ දේ (අ.නි. දසක නිපාත) දසය නම්, 1. බෝග, 2. වර්ණය, 3. ආරෝග්‍යය, 4. ශීලය, 5. බ‍්‍රහ්මචර්යය, 6. මිත‍්‍රයෝ, 7. බහුශ‍්‍රැත බව, 8. ප‍්‍රඥාව, 9. ධර්මය, 10. ස්වර්ගය, මෙම දුර්ලභ වස්තූන් ලබා ගැනීමට නොහැකි වන උවදුරු දසයක් ද වේ. ඒවා නම්,

1. කුසීතකම හා උත්සාහය නැති වීම, භෝග ලබා ගැනීම බාධකයකි. 2. අලංකාරය, ආභරණ නොපැළඳීම, වර්ණවත් බවට බාධකයි. (ආමණ්ඩනය හා අභූෂණය) 3. අසප්පායකිරිය ද අපත්‍ය කි‍්‍රයා, සුදුසු කටයුතු නොකිරීම, නුසුදුසු සිතිවිලි හා නිරතවීම, ආරෝග්‍ය බාධකයකි. 4. පාප මිත‍්‍රතාවය සීලයට උවදුරකි. 5. ඉන්ද්‍රිය අසංවරය බ‍්‍රහ්ම චර්යාව බාධකයකි. 6. විසංවාදතාව (විරුද්ධ මත නොඉවසීම) අසජ්ඣායකිරියා මිත‍්‍ර සම්පත අහිමි වීමට හේතුවකි( නූගත් කි‍්‍රයා කියවීම ඇසීම, දෙකින්ම තොරවීම) බහුශ‍්‍රැත බවට විරෝධයකි. 7. අසුස්සුයා අපරිපුච්ඡා (විමසා නොබැලීම අවිචාරවත් බව) ප‍්‍රඥාවට බාධාවකි. 8. අනන්දායොගො අපච්ච වෙක්ඛතා (නුසුදුසු අසංවර බව) ධර්මයට බාධකයකි. 9. මිච්ඡාපට්පත්ථි (වැරැදි පිළිවෙත්) ස්වර්ගගාමිත්වයට බාධකයකි.

ප‍්‍රශ්නය - බුද්ධ ධර්මයට අනුව කීර්තිය හා ධනය මෙලොව සෑම ජීවියෙකුට ම අවශ්‍ය වූවකි. පාරලෞකිය අභිවෘද්ධිය ද එසේම ඔහුට අවශ්‍ය වෙයි. මෙසේ මෙලොව හා පරලොව උභයාර්ථ සංසිද්ධියට හේතුවන විශේෂ වූ කරුණු 10 ක් පෙළපොත්හි සඳහන් ව ප‍්‍රචලිත ව ඇත. මෙම කරුණු මොනවාද?

පිළිතුර - (අංනි. දසක නිපාත) ධනෙන ධඤ්‍ෙඤ්නචයොධ වඩ්ඩති. පුත්තෙහි දාරෙහි චතුප්පදෙහිච සහොගවා හොති යසස් පූජිතො ඤතීහි මිත්තෙ අථොපිරාජුහි සද්ධාය සීලෙනච යොධ වඩ්ඩති. පඤ්ඤාච වාගෙන සුතේන චූහයං සො තාදිසො සප්පුරිසො විචක්ඛණෙ දිට්ඨෙව ධම්මෙ උභයෙන වඩ්ඨතීති. කෙත්වතු ලැබීම, ධන ධාන්‍ය ලැබීම, අඹු දරුවන් ලැබීම, දැසි කම්කරු පුරුෂයන් ලැබීම, ශ‍්‍රද්ධාවෙන් වැඩීම, ඇසූ පිරූ ඇති බව වැඩීම, සීලයෙන් වර්ධනය වෙයි. ලොව යමෙක් ධන ධාන්‍යයෙන් අඹු දරුවන් ගෙන් ගව සම්පතින් වැඩේ නම් නෑ මිතුරන් හා රජුන් විසින් ද පිදුම් ලද ඔහු කීර්තිමත් ධනවතෙකු වේ. තවද ශ‍්‍රද්ධා සීල ප‍්‍රඥා ශ‍්‍රැති ත්‍යාග එබඳු සත් පුරුෂයා මෙලොව පරලොව දෙක්හිම අභිවෘද්ධියට පත් වන්නේ ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.