Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම:

අනුරාධපුර රුවන්වැලි සෑය මහා විහාර

ප‍්‍රශ්නය - රාහුල සාමණේරයන් වහන්සේ පැවිදි වූ අලුත ම දේශනා කළ සූත‍්‍රයකි, අම්බලට්ඨික “රාහුලෝවාද සූත‍්‍රය” එහි කියැවෙන්නේ සත්‍යගරුක ජීවිතයක ඇති වටිනාකමයි. එම සූත‍්‍ර ධර්මයෙහි අන්තර්ගතය (ඇතුළත් කරුණු) පිළිබඳ ව පැහැදිලි කරන්න.

පිළිතුර - දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල සාමණේරයන් වහන්සේ හමුවට වැඩියහ. බුදුරජාණන් වහන්සේ වඩින බව දුරදීම දැක උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පා සේදීම සඳහා දිය සූදානම් කළහ.

බඳුනෙහි දිය ස්වල්පයක් ඉතිරි වන සේ පා සෝදා ගත් බුදුරජාණන් වහන්සේ, “රාහුල, බඳුනෙහි ඉතිරි වූ ස්වල්ප වූ ජලය ඔබට දකින්නට ලැබෙනවා නේදැ”යි විමසූ සේක.

රාහුල සාමණේරයෝ ද, “එහෙමයි ස්වාමීනි, පිළිවදන් දුන්හ. “රාහුල හිතා මතා බොරු කියන ලජ්ජා නැති තැනැත්තා ගේ ජීවිතයත් ඔය විදියයි” වදාළහ.

අනතුරුව ඒ ඉතිරි වතුර ටික ඉවතට දැමූ බුදුරජාණන් වහන්සේ, “රාහුල, හිතා මතා බොරු කීමට ලජ්ජාවක් නැත්තාගේ ජීවිතයත් ඔය අයුරින්ම ඉවත ලන ලද්දකැ”යි වදාළහ.

හිස් බඳුන උඩු අතට තැබූ බුදුරජාණන් වහන්සේ, “සිතා මතා බොරු කීමට ලජ්ජාවක් නැති අයගේ ජීවිතය හිස් ය. නිසරු ය. සිතා මතා බොරු කියන්නට ලජ්ජා නොවන කෙනකුට කරන්නට බැරි පාප කර්මයක් නැතැයි මම කියමි. රාහුල එහෙයින් තමන් සෙල්ලමටවත් බොරුවක් නොකියමියි සිතා හික්මීම අවශ්‍ය යයි වදාළහ. ළමා වියේ පසුවන්නකුට පහසුවෙන් වැටහෙන පරිදි හරවත් නිදසුනක් මගින් සත්‍යාවාදිත්වයෙහි අගය බුදුරජාණන් වහන්සේ සුදුසු නිිදසුනකින් පැහැදිලි කළ සේක.

ප‍්‍රශ්නය - අනගාරික ප‍්‍රතිපදාව ජීවිතය කොට ගත් භික්ෂූන් වහන්සේගේ ජීවන රටාව අධ්‍යාත්මික සදාචාරාත්මක හා මානව හිතවාදී ප‍්‍රායෝගික අගයට මුල් තැන දෙමින් සංවිධානය වී ඇත. ඒ සඳහා පුරන පිළිවෙත් අතර, “ගමික වත හා වැසිකිළි වත - යන අංග දෙකකි. මෙයින් දෙවැන්නට සඳහන් කළ “වැසිකිළි වත” පැවිදි ගිහි ඕනෑම සාමාජිකයකුට අද පවා ප‍්‍රයෝජනවත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - වැසිකිළිය යනු බොහෝ විට පොදු පරිභෝජනයට වෙන් වූ ස්ථානයකි. සාමාන්‍ය ජීවිතයෙහි දී පනවා ගත් සම්මතයන් වැසිකිළිය ප‍්‍රයෝජනයට ගන්නා අවස්ථාවෙහිදී නොසලකා හැර පැමිණි පිළිවෙල අනුගමනය කළ හැකිය.

සාමාන්‍ය පිළිවෙත්වල දී (වෘද්ධා පචායන) වැඩිහිටි අයට මුල් තැන දී සඟ මහලු පිළිවෙල හෙවත් පැවිදි ජීවිතයෙහි උපසපන්වීමෙන් වස් විසීම ගණනය කිරීමෙනි. සඟ මහලු පිළිවෙල සකස් ව ඒ අනුව ශාසනික සම්ප‍්‍රදාය සකස් වී ඇත.

එහෙත් වැසිකිළි වත නමින් සඳහන් වන එම සම්ප‍්‍රදායන් මෙහි දී අනුගමනය කිරිම යුක්ති සහගත නොවන බැවින් අවශ්‍යතාවයට හා පැමිණි පිළිවෙලට අනුගමනය කිරීම විශේෂිත ය.

ප‍්‍රශ්නය - අනුන්ගේ දුක දැක දැක එය බැහැර කරනු රිසිව සාධූන්ගේ සිත්හි ඇතිවන කම්පනය දෙවන බ‍්‍රහ්ම විහාරය ලෙස හඳුන්වා ඇත. බුදුසමයට අනුව - අනුකම්පා - දයා යන වචන ඊට සමාන්තරව යෙදෙන බව පෙන්වා දී ඇත. පෙළ දහමෙහි පිළිවෙලට සමගාමීව පැහැදිලි කරන්න.

පිළිතුර - මෛති‍්‍රයට සව්සතුන් (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) අරමුණු වන අතර, දුකට පත් සත්වයා (දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා) එයින් මුදවාලීමට කරුණාව ඒකාන්ත අරමුණ වේ.

සම්මා සංකප්ප (යහපත් කල්පනාව) ගොඩ නගන ලද අව්‍යාපාද - අවිහිංසා - සංකල්ප තුළ කරුණාව - දයාව අනුකම්පාව ගැබ් වෙයි.

මෛති‍්‍රය තමා සමාන කොට අන් අය කෙරෙහි ද හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර මෛත‍්‍රිය කළ යුත්තේ මවක් එකම පුතු රකින ලෙසයි. මෙයින් බුදු සමය අවධාරණය කරන්නේ කිසිම ප‍්‍රතිලාභයක් හෝ ප‍්‍රතිදානයක් අරමුණු කර ගෙන හිත මිතුරු ආකල්පය නොපැවැත්විය යුතු බවයි.

එය ආදරය හෝ පෙ‍්‍ර්මය නොවේ. පෙ‍්‍ර්මය ශෝකයත් බියත් ඇති කරයි. (පෙමතෝ ජායතී සොකෝ පෙමතො ජායති භයං) එම නිසා එය බැහැරලිය යුතු බව බුද්ධ දේශනාවයි.

ප‍්‍රශ්නය - මජ්ක්‍ධිම නිකායේ “කොසොම්බි” සූත‍්‍ර දේශනාවට අනුව – ලබා ගත් දෙය කෙතරම් දැහැමි වුව ද, සමාජ සහජීවනය අරමුණු කර ගෙන අවම වශයෙන් තම පාත‍්‍රයට ලැබුණු සු‍්‍රළු දෙය වුව ද බෙදා හදා නොගෙන නොවැළඳිය යුතු බව දැඩි ලෙස කියවෙයි. බුදු දහමට අනුව පරිත්‍යාගය (චාග) සම්පතකි. සිව් සඟරාවතින් (චතුස්සංගහ වත්ථු) දානය පළමු වැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. සමාජ සාධාරණීකරණය සඳහාත් තමා වෙතින් අනෙක් අයට යන තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාගසම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතුª ය. පැහැදිලි කරන්න.

පිළිතුර - බුදු දහමට අනුව ප‍්‍රධාන හේතූන් දෙකක් නිසා දානය අවධාරණය කර තිබෙන බව පැහැදිලිය. ඉන් පළමුවැන්න පුද්ගලයා පිළිබඳ සලකා බැලීමයි. අනෙක පරිත්‍යාගශීලී බව සමාජ ප‍්‍රගතියට බෙහෙවින් ම හේතු සාධකයක් වන බවයි. පුද්ගල හා සමාජගත දුකට ප‍්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුරජාණන් වහන්සේ වදාළහ. තෘෂ්ණාව නිසා අයත් කර ගැනීම, රැස් කිරීම, පැහැර ගැනීම, මගේ බවට පමුණුවා ගැනීම, මමත්වය ගොඩ නැගීම එමගින් (සක්කාය දිට්ඨි) හෙවත් ආත්මයක් පිළිබඳ විශ්වාසයක් තහවුරු කර ගැනීම ආදිය සිදු වෙයි.

මෙම මිථ්‍යා දෘෂ්ටිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරිමට ප‍්‍රතිපක්ෂ ධර්මයන් පුරුදු පුහුණු කළ යුතු ය. මෙසේ ලෝභය, රාගය, තෘෂ්ණාව ප‍්‍රහීණ කිරීමට පරිත්‍යාගය අනුගමනය කළ හැකි ඵලදායී මාර්ගය වෙයි.

අත්හැර දැමීමේ සංකල්පය “නෙක්ඛම්ම” නමින් හැඳින්වෙයි. අධ්‍යාත්මික දියුණුව සැලසීමේ අඩිතාලම එයින් දැමෙයි. සිව් සඟරාවතින් වඩාත් අවධාරණය කර ඇත්තේ දන්දීමෙහි (පරිත්‍යාගයෙහි) සමාජමය අරුතයි. සමාජයෙහි යහ පැවැත්ම මෙන්ම සත් ගුණවත් භාවයට පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි.

නොදීමෙන් තැන් තැන්වල එක් රැස්වීමට පටන් ගැනේ. එවිට වෙනත් තැනක හැදැසක් - අවකාශයක් (අඩුවක්) ඇති වෙයි. ඒ හේතුවෙන් සන්නිදිකාර (අධිකාරි) බලයක් ඇති වෙයි. සමාජය තුළ එක් කොටසක් බලය පවරා ගනී. එමගින් සමතුලනය නැති වේ. සම්පත් සූරාකෑමට ලක් වේ. එවිට සම්පත් හිඟයකට හා විනාශයකට මුහුණ පෑමට සිදු වේ.

මේ කරුණු දී. නි. අග්ගඤ්ඤ සූත‍්‍රයෙහි මෙසේ මැනවින් විස්තර වෙයි.

පෞද්ගලික හැකියාව නිසා හෝ වෙනත් හේතු නිසා හෝ හැම දෙනාටම එක පමණට නො ලැබේ. ඇතැමුනට වැඩියෙනුත් සමහරෙකුට අඩුවෙනුත් ලැබීම ස්වභාවයෙකි.

වැඩියෙන් ලබන්නන් නොදී සිටීම (අදනානං ධනෙ අනුප්පාදිය මානෙ - දාළිද්දියං වෙපුල්ලං අගමාසි) ඇති නැති පරතරයක් නැතහොත් අසමානතාවක් ඇති කිරීමට හේතු වේ. එවිට අඩු අය - වැඩි අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බැලීමට පටන් ගනිති. කලහයකට - අරගලයකට මග පෑදේ. සමාජ සාමය එකමුතුකම බිඳ වැටේ.

සමාජ චිර ජීවනයට එය අහිතකර වේ. මේ නිසා ලබා ගත් හෝ ලැබූ දෙය ධාර්මික වුවද බෙදා වැළඳිය යුතුයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.