Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මතක වස්ත‍්‍රය හා පාංශුකූලය

වත්මන් බොහෝ දෙනා මතක වස්ත‍්‍රය හා පංසුකූලය එකක් ලෙස සලකති. ස්වාමීන් වහන්සේ නමක්, කෙනකුගේ අවසන් කටයුතු සඳහා වඩින විට කොහේ වඩින්නේ දැයි ඇසුවහොත් පංසුකූලයකට වඩින බව ප‍්‍රකාශ කරති. ගිහියෝ “අපේ ගෙදර පංසුකූලයට දහ නමක් වැඩියා” ආදී වශයෙන් කතා කරති. මෙසේ පංසුකූලය හා මතක වස්ත‍්‍රය අතර ඇති පරතරය නැත්තටම වාගේ නැති වී බොහෝ විට එකක් වශයෙන් සලකන්නට පුරුදු වී ඇත.

මතක වස්ත‍්‍රය නම් මළ කෙනෙක් උදෙසා පූජා කරන වස්ත‍්‍රය යි. දායක දායිකාවෝ සැදැහැ බැතියෙන් වස්ත‍්‍රය ස්වාමීන් වහන්සේ අතට පූජා කරති. ස්වාමීන් වහන්සේ ද එය පිළිගනිති. අතින් අත පිළිගන්නා යමක් වේ ද එය පංසුකූලයක් නොවේ. මළ කෙනෙක් උදෙසා යමක් දෙයි ද ඒ සෑම දෙයකටම මතක යන විශේෂණ පදය යෙදිය හැකිය . (මතං උද්දිස්ස යං පවත්තේති තං මතකං) මළවුන් උදෙසා දෙන වස්ත‍්‍රය මතක වස්ත‍්‍රය වන්නාක් මෙන්ම බණ, මතක බණ, දානය මතක දානය, දැහැත් මතක දැහැත් , ගිලන්පස මතක ගිලන්පස ආදී වශයෙන් ව්‍යවහාර කළ හැකිය.

මේ සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ අතට පිළිගන්වන හෙයින් පංසුකූල නොවේ. පංසුකූල යනු දූලි මෙන් පිළිකුල් බවට පත් වූ දෙයයි. ආශාවක් බලාපොරොත්තුවක් නැතුව ඉවත දමන ලද, අයිතිකරුවකු නැති, කෙනෙක් නොගත හොත් පොළවට දිරාපත් වන දේ පංශුකූල වශයෙන් ගැනේ. තෙළෙස් ධූතාංගයන්ගෙන් එකකි පංසුකූලිකාංගය. කෙනෙක් පැවිදි වන විට දෙන අවවාදයන් අතර “ පංසුකූල චීවරය නිසා, නුඹේ පැවිද්ද වන්නේය” යනු එක් අවවාදයකි. (පංසුකූල චීවරං නිස්සාය තේ පබ්බජ්ජා) මෙයින් ගහපති චීවරාදිය ප‍්‍රතික්ෂේප වීමක් නො වේ.

දෙව්දත් තෙරුන් ඉල්ලූ වර පස අතර එකකි. “භික්ෂූන් ජීවිතාන්තය දක්වා ම පංසුකූල චීවර ධාරි විය යුතුය” යන්න. එහෙත් බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය වූයේ කැමැති භික්ෂූන්ට පංසුකූල චීවර දැරීමටය. පංසුකූල චීවර දැරීමට නො හැකි භික්ෂූන් එම ධූතාංගය සමාදන් නොවීම වරදක් නො වේ. ධූතාංග ධාරීන් අතර අග‍්‍රස්ථානය ලැබුවෝ මහාකාශ්‍යප මහරහතන් වහන්සේය. උන්වහන්සේ කෙළෙස් ධූතාංගයම සමාදන් වී විසූහ. පසු කලෙක වයෝවෘද්ධ හෙයින් පාංසුකූලිකාංග අතහැරියාට වරදක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළත්, පශ්චාත්තනික භික්ෂූන්ට ආදර්ශයක් වනු පිණිස දිවි ඇති තෙක් එම ධූතාංගය ආරක්ෂා කරන බව බුදුරදුන්ගේ සාධු නාද ලබමින් ප‍්‍රකාශ කළහ.

බුදුරජාණන් වහන්සේ විසින් ද ප‍්‍රථමයෙන් දරන ලද්දේ පාංසුකූලික චීවරයකි. පුණ්ණා නම් දාසියගේ මළමිනිය රෙද්දකින් ඔතා අතිමුත්තක නම් අමු සොහොනට දමන ලදී.

එම මළමිනිය කුණු වී පණුවන් ගසා තිබෙද්දී බුදුරජාණන් වහන්සේ එම රෙද්ද ගෙන තිඹක් පමණ සිටි පණුවන් ඉවත් කොට සෝදා පිරිසිදු කොට ගෙන සිවුරක් සාදා පරිහරණය කළ සේක. පසු කලෙක මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දෙන ලද්දේ එම සිවුරයි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ සිවුර බුදුරජාණන් වහන්සේ විසින් ගන්නා ලදී.

පංසුකූල චීවරය සෝසානික ය. පාපණිකය, රථිය චෝලය, සංකාර චෝලය, සොත්ථියය, නහාන චොලය, තිත්ථ චෝලය , ගත පච්චාගතය, අග්ගිදඩ්ඪය , ගෝඛායිතය උපචිකාඛායිනය, උන්දුරඛායිතය, අන්තච්ඡින්නය, දසාච්ජින්නය , ධජාහටය, ථූපචීවරය, සමණචීවරය, ආභිසෙතිකය, ඉද්ධිමය, පන්ථකමය, වාතාහටය, දේවදත්තිය , සාමුද්දිස ය, යනුවෙන් තෙවිසි වැදෑරුම් වේ. සොහොනෙහි දමන ලද වස්ත‍්‍රය සොසානික නමි. පාපණික නම් සල්පිල් දොර වැටුණා වූ වස්ත‍්‍රයයි.

රථිය චෝලය යනු පින් තකා ජනෙල් කවුළුවෙන් වීථියට දැමු වස්ත‍්‍රයයි. සංකාර චෝල නම් කසල ගොඩට දැමූ වස්ත‍්‍ර යයි. ස්තී‍්‍රන්ගේ ගැබ්මළ පිසදැමූ වස්ත‍්‍රය සොත්ථිය නම් වේ. භූතාචාර්යවරුන් රෝගීන් ස්නානය කරවා හැර දැමූ වස්ත‍්‍රය නහාන චෝල නමි. නාන තොටෙහි දැමූ වස්ත‍්‍රය තිත්ථිය චෝල නමින් හැඳින්වේ. සොහොනට ගොස් ආපසු එන්නවුන් විසින් හැරදමා යන වස්ත‍්‍රය ගතපච්චාගත නමි. අග්ගිදඩ්ඩ යනුවෙන් හැඳින්වූයේ ගින්නෙන් කොටසක් දැවුණු වස්ත‍්‍රයයි. ගවයන් විසින් ටිකක් කන ලද වස්ත‍්‍රය ගොඛායිත නමි.

උපචිකාඛායිත නම් වේයන් විසින් ටිකක් කන ලද වස්ත‍්‍රයයි. මීයන් කෑ වස්ත‍්‍රය උන්දුරඛායිත නමි. අන්තච්ජින්න නම් අග කැඩීගිය වස්ත‍්‍රයයි. දාවලු කැඩීගිය වස්ත‍්‍රය දසාච්ජින්න නමි. නාවිකයන් හෝ යුද්ධ භූමියෙහි හෝ ධජයක් වශයෙන් බැද හැරදමා ගිය වස්ත‍්‍රය ධජාහට වශයෙන් හැඳින්විය.

තුඹස වටකොට බලිකර්ම කරන ලද වස්ත‍්‍රය ථූපචීවර නමි, භික්ෂූන් වහන්සේ සතු වස්ත‍්‍රය සමණ චීවර නම් වේ. අභිෂේක ස්ථානයෙහි දැමූ වස්ත‍්‍රය ආභිසේනික නම් වේ. එහි භික්ඛු ප‍්‍රව‍්‍රජ්‍යාවේ දී පහළ වන වස්ත‍්‍රය ඉද්ධිමය නමි. මාර්ගයේ වැටුණ වස්ත‍්‍රය පථික නමින් හඳුන්වා ඇත. සුළගින් ගසාගෙන විත් වැටුණු වස්ත‍්‍රය වාතාහට ය. දෙවියන් විසින් දෙන ලද වස්ත‍්‍රය දේවදත්තිය නම් වේ. මුහුදු රළින් ගොඩගැසූ වස්ත‍්‍රය සාමුද්දිස නමින් හැඳින්වේ.

පාංශුකූල වස්ත‍්‍රය පිළිබඳ කතා අටුවාවන්හිද සඳහන් වේ. ප‍්‍රාචීන ඛණ්ඩරාජියෙහි පාංසුකූලිකාඩ්ගය සමාදන් වූ භික්ෂුවක් විසීය. උන් වහන්සේ ගමනක් වඩින විට මිනිසෙක් මළපහ කොට විසිකළ වස්ත‍්‍රයක් දැක, බුදුරදුන් සිහිවී, වැඳගෙන සිටියේය. සංසස්ථවිරයන් වහන්සේ පැමිණ “ ආයුෂ්මතුනි, කසළ ගොඩට වැඳගෙන සිටින්නේ කුමක් නිසාදැයි ඇසූ විට මම කසළ ගොඩට නොව තථාගතයන් වහන්සේට වඳිමි යැයි කියා එහිම සිට භාවනා වඩා අනාගාමී ඵලයට පත් වූ බව සුමංගල විලාසිනී අට්ඨකථාවේ සඳහන් වේ.

අද පවා සමහර ශ‍්‍රද්ධා බුද්ධිසම්පන්න උපාසක උපාසිකාවෝ තම තමන්ගේ පංසුකූලය ජීවත් ව සිටිය දීම දෙති. එබඳු පංසුකූල ජීව පංසුකූල නමින් හැඳින්වේ. භික්ෂූන් වහන්සේ නමක් වඩින විට උන්වහන්සේ ඉදිරිපිටට වස්ත‍්‍රය දමති. එවිට භික්ෂූන් වහන්සේ ද පංසුකූල සඤ්ඤාවෙන් එම වස්ත‍්‍රය රැගෙන වඩිති. ජීව පංසුකූලය දෙන ක‍්‍රමය එය යි. අතට දෙන යමක් පංසුකූලයක් නොවන හෙයිනි.

මතක වස්ත‍්‍රයකින් මසා ගත්තත් එය ඉහතින් සඳහන් කළ තෙවිසි වැදෑරුම් පංසුකූල ගණයට ඇතුළත් නො වේ.

පංසුකූල චීවර ධාරීව වැඩවිසීම භික්ෂුවකගේ නිර්වාණ ගාමිණී ප‍්‍රතිපදාව තීව‍්‍ර කරයි. මානාදී දුර්ගුණ එයින් ප‍්‍රහීන වී, ලද දෙයින් සතුටුවීම වැනි ගුණාංග තම චරිතයට ඒකරාශි වෙයි. එය නිර්වාණාවබෝධයට මහත් රුකුලකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.